දුම්රිය නියාමකවරුන්ගේ සංගමය විසින් දියත් කරනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් හෙට (10) දිනයේදී දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල විය හැකි බව එම සංගමය අනතුරු අඟවයි. හෙට උදෑසන සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව එම සංගමයේ ලේකම් රුක්මල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, දැනට ධාවනය වන රාත්‍රී දුම්රියන් අදාළ ගමනාන්ත කරා ළඟා කරවීමට කටයුතු කරන නමුත්, හෙට උදෑසන ආරම්භ වීමට නියමිත දුම්රියන් සඳහා නියාමකවරුන් සේවා ස්ථාන වෙත වාර්තා නොකරන බව ඔහු තහවුරු කළේය.
මෙම වර්ජනයට හේතුව පැහැදිලි කරමින් ලේකම්වරයා කියා සිටියේ, දුම්රිය ආරක්ෂණ නීති සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් සහ මගී ජීවිත අනතුරේ හෙළමින් පසුගිය දින කිහිපය පුරා දුම්රිය දොඹකර රථ (Cranes) ධාවනය කරවා ඇති බවයි. මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද, එය නොසලකා හරිමින් නැවතත් අවස්ථා දෙකකදී එලෙස ධාවනය කර ඇති බවත්, මීට නියෝග නිකුත් කළ නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙස කළ ඉල්ලීමට බලධාරීන් ඇල්මැරුණු ස්වභාවයක් දැක්වීම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















