ආබාධ සහිත පුද්ගලයන්ට සේවා සපයන රාජ්‍ය ආයතනවල ප්‍රවේශ පහසුකම් ඇගයීමට ලක් කෙරෙන ජාතික විගණන වැඩසටහන අද (09) බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණි.
2026 අයවැය යෝජනාවලට අනුව ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළවල්, අධිකරණ සහ පොලිස් ස්ථාන ඇතුළු පොදු ස්ථානවල ප්‍රවේශ මෙන්ම සනීපාරක්ෂක පහසුකම් ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 1,000ක (බිලියනයක) ප්‍රතිපාදන වෙන් කර තිබේ. ඒ අනුව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය විසින් දිවයින පුරා පිහිටි රාජ්‍ය ආයතනවල පවතින පහසුකම් නිරීක්ෂණය කිරීම සඳහා මෙම පුළුල් විගණනය සැලසුම් කර ඇත.
මෙම ජාතික වැඩපිළිවෙළට සමගාමීව IFES ආයතනයේ සහයෝගය ඇතිව දිස්ත්‍රික්ක 17ක නිලධාරීන් සහ ආබාධ සහිත පුද්ගලයන් විශේෂ පුහුණුවකට ලක් කර ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයට අදාළ විගණන කටයුතු අද දින සෙත්සිරිපාය අදියර 1 සහ 2 පරිශ්‍රයන් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ විය.
මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මත්‍රිනායක මහතා, ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජයමාලී වික්‍රමආරච්චි මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටියහ.
















