සියලුම දුම්රිය සේවකයන් සහ නිලධාරීන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය නිසා දුම්රිය ධාවන, මෙහෙයුම් සහ පාලන කටයුතු රැසක් ඇනහිටින බවට දුම්රිය වෘත්තිය සමිති දැඩි ලෙස අනතුරු අඟවා සිටී.
දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් මෙහෙයුම් කාර්යාලය සමඟ පණිවුඩ හුවමාරු කිරීම මෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන් කාලසටහන් යාවත්කාලීන කිරීම වට්ස්ඇප් (WhatsApp) හරහා සිදුවන බව පෙන්වා දෙන දුම්රිය ස්ථානාධිපති සංගමයේ කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කරන්නේ, බොහෝ පරිපාලන කටයුතුද සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන බවයි. රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛ මඟින් ආයතනික තොරතුරු වට්ස්ඇප් මගින් හුවමාරු කිරීමට දී ඇති උපදෙස් පවා නොසලකා හරිමින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා මෙම තීරණය ගෙන ඇති බව වෘත්තිය සමිති පෙන්වා දෙයි. මෙම අසාධාරණ තීරණයට එරෙහිව එන්ජින් රියැදුරු, නියාමක, ස්ථානාධිපති සහ රත්මලාන කාර්මික ඇතුළු වෘත්තිය සමිති 20ක පමණ නියෝජිතයන් කොළඹදී හමුවී දැඩි විරෝධය පළ කිරීමට නියමිතය.














