වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් කැබිනට් මණ්ඩලය අනුමත කළ නව ක්‍රමවේදයක් යටතේ වන්දි ගෙවීමට කටයුතු සූදානම් කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පවසයි. ප්‍රවාහන අමාත්‍යාංශයේ අද (17) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. පෙර පැවැති ක්‍රමවේදයට අනුව දුම්රිය අනතුරකින් මියයාමකදී හෝ සදාකාලික අකර්මණ්‍ය වීමකදී ගෙවනු ලැබුවේ රුපියල් එක්ලක්ෂ පන්දහසක් (105,000) පමණක් වුව ද, නව සංශෝධන යටතේ එය රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කර තිබේ. මීට අමතරව රෝහල්ගතව සිටින තුවාලකරුවන් වෙනුවෙන් පළමු සතිය සඳහා දිනකට රුපියල් 2,000 බැගින් ද, එතැනින් එහාට රුපියල් 50,000ක දක්වා ද වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කර ඇත. රෝහල්ගතව සිට නිවෙස් බලා යන පිරිස්වල රෝග විනිශ්චය කාඩ්පත් (Diagnosis Cards) පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම වන්දි මුදල් කඩිනමින් පිරිනැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලබයි. මෙම අනතුරෙන් තුවාල ලැබූ මගීන් හය දෙනාගෙන් (06) එක් අයෙකු ඊයේ (16) දිනම ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර, තවත් දෙදෙනෙකු අද දින රෝහලෙන් පිටව ගොස් තිබේ. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් පමණි. ඉන් එක් අයෙකු පීලි පැනපු දුම්රිය සහ ඒ අසල තිබූ මෝටර් රථයක් අතරට වැටීමෙන් අතේ සන්ධිවලට හානි සිදුව ඇති අතර, අනෙක් කාන්තාව දුම්රියෙන් බිරීමට යාමේදී ඇතිවූ තෙරපීම හේතුවෙන් බෙල්ල හැරවීමට නොහැකි තත්ත්වයකින් පසුවෙයි. කෙසේ වෙතත්, අනතුරට ලක්වූ වනවාසල දුම්රිය මාර්ගයේ සියලුම ප්‍රතිසංස්කරණ කටයුතු අද (17) සවස් වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතය. ඒ අනුව හෙටින් (18) ආරම්භ වන නව සතියේ සිට එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සුපුරුදු පරිදි සාමාන්‍ය ආකාරයෙන් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට සැලසුම් කර තිබේ.














