27 April 2024
#සංවර්ධන

රාජාංගනය ඇඹුල් කෙසෙල් වගාව ඇමැති මහින්දගේ නිරික්ෂණයට

ලෝක බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණය ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන අපනයනය ඉලක්ක කර ගත් රාජාංගනය ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ හා හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

මෙම ඇඹුල් කෙසෙල් වගාව ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉළක්ක කර ගනිමින් ස්ථාපිත කර තිබෙන අතර ඇඹුල් කෙසෙල් වගා කිරීම, අස්වනු නෙලා ගැනීම, ඇසුරුම්කරණය ආදි සියලු කටයුතු අන්තර්ජාතික ප්‍රමිතින්ට අනුව සිදු කිරීම සඳහා එම ගොවීන්ට විද්‍යාත්මක හා තාක්ෂණික පුහුණුව ද ව්‍යාපෘතිය මගින් සපයා දී තිබේ.

මෙම වගාව මගින් වාර්ෂිකව දේශීය වෙළෙදපොලට ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 152,264ක් සපයනු ලබයි. එමෙන්ම විදේශීය රටවල් කිහිපයකට මෙම ඇඹුල් කෙසෙල් සපයන අතර මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 600-700 අතර මිල ගණන් යටතේ අලෙවි කෙරේ. මෙම වසරේ මුල් මාස හය තුළ ඇඹුල් කෙසෙල් අපනයනය මගින් ඇමරිකානු ඩොලර් 28000ක මුදලක් රටට උපයා දීමට රාජංගනයේ ඇඹුල් කෙසෙල් වගා කරන ගොවීහු සමත්ව ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ රොහාන් විජේකොන් මහතා සඳහන් කළේය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිඅංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කර තිබෙන දේශීය ගොවි ජන ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙළ මේ වනවිට දිස්ත්‍රික් ගණනාවක විවිධ ව්‍යාපෘති හඳුන්වා දෙමින් ක්‍රියාත්මක වන බව සඳහන් කළේය.

ගොවි ජනතාව සාම්ප්‍රධායික රාමුවක සිර වී සිදු කරන කාෂිකර්මාන්තය නිසා ඔවුන්ට ආදායම් ලැබීම අසීරු වී තිබේ. එහෙත් කෘෂිකර්මාන්තයේ නව දැනුම හා තාක්ෂණය, නව බීජ යොදා ගැනීම මගින් ගොවින්ට සීමිත ඉඩකඩකින් පවා ඉහළ ආදායමක් ලබා ගැනීමට ඇති හැකියාව රාජාංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය තුළින් මනාව පැහැදිලි වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකොන් මහතා ද ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *