කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් පෞද්ගලික සමාගමකට ලබාදීමෙන් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න සහ එම අමාත්‍යාංශයේ හිටපු සභාපති උපාලි ලියනගේ යන මහත්වරුන්ට එරෙහිව අධි චෝදනා ගොනු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළ නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ සැකකරුවන්ට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු මේ වන විට අවසන් වී ඇති බැවින් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවයි.
මෙම නඩුවේ සැකකරුවන් දෙදෙනා දැනට ඇප මත මුදාහැර සිටින අතර, සිද්ධියට අදාළ නඩුව යළි දෙසැම්බර් 04 වැනිදා කැඳවීමට නියමිතය.
















