නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා කොළඹදී පැවති පිළිගැනීමේ උත්සවයකදී ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගෙන නිරන්තරයෙන් කටයුතු කරන බවයි. දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ඒ මහතා අද (09) ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් හමුවීමට නියමිත අතර, එහිදී වැදගත් අවබෝධතා ගිවිසුම් තුනක් හුවමාරු කර ගැනීමටද නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර ඇත.
ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම සංචාරය අතරතුර, අමාත්‍යවරයා හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සහ නුවරඑළියේ සීතාඅම්මාන් කෝවිලේ පැවැත්වෙන විශේෂ ආගමික වැඩසටහන් කිහිපයකටද සහභාගී වනු ඇත. අමාත්‍යවරයාගේ සංචාරය හේතුවෙන් අද දිනයේ කොළඹ සහ අවට ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කර තිබේ.













