තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණගැසී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම හමුවේදී දෙරතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා ඇති බවයි.
වසර 38කට පසුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම මෙහි ඇති විශේෂත්වයකි. මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ඇතුළු පිරිසක් හමුවීමට ද නියමිතව ඇත. පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් කරන ලද ඉන්දු-ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමු වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.














