ශ්‍රී ලංකා – ඉන්දීය ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං මහතා ලබන සැප්තැම්බර් මස 9 සහ 10 යන දෙදින මෙරට නිල සංචාරයකට එක්වීමට නියමිතය.
ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳව මෙම සංචාරයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුවනු ඇති අතර, ජනාධිපති සහ ආරක්ෂක ඇමැති අනුර කුමාර දිසානායක, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීන් හමුවී ඔහු සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. 2025 අප්‍රේල් මස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කොළඹ සංචාරයේදී අත්සන් කරන ලද “ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුම” (MoU) පූර්ණ හා කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම මෙහිදී ප්‍රධාන වශයෙන් සමාලෝචනය කෙරෙනු ඇත. ඒකාබද්ධ හමුදා පුහුණු වීම්, ධාරිතා වර්ධනය සහ ආපදා සහන සහයෝගීතාව වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන මෙම ප්‍රථම පුළුල් ආරක්ෂක ගිවිසුම හරහා දෙරටේ හමුදා අතර සබඳතා තවදුරටත් ගැඹුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














