හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා විසින් නාරාහේන්පිට පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව, නාරාහේන්පිට පිහිටි නිවසකින් විදේශීය සහ දේශීය මුදල් ඇතුළු දේපළ රැසක් සොරාගෙන ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
එම පැමිණිල්ලේ සඳහන් පරිදි ඇමෙරිකානු ඩොලර් 4,275ක්, රුපියල් ලක්ෂ 14ක මුදලක් සහ ගෘහ උපකරණ ඇතුළු දේපළ කිහිපයක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
අදාළ සොරකම අගෝස්තු 08 වැනිදාත් සැප්තැම්බර් 30 වැනිදාත් අතර කාලයේදී සිදුව ඇති බවට පැමිණිල්ලේ සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අදාළ නිවස රමිත් රඹුක්වැල්ල මහතාගේ බිරිඳගේ පියාට අයත් එකක් බව අනාවරණය වී ඇති බව වාර්තා වේ.
එමෙන්ම ඔහුගේ උපදෙස් මත රමිත් රඹුක්වැල්ල මහතාට අයත් භාණ්ඩ හා දේපළ නුගේගොඩ ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයකට රැගෙන ගොස් ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
විදේශගතව සිටින ඔහුගේ බිරිඳගේ පියාද සිද්ධිය සම්බන්ධයෙන් විද්‍යුත් තැපෑල ඔස්සේ පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත අතර, නාරාහේන්පිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.














