මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ සැකකටයුතු මරණය, ඔහු විසින්ම සිදුකරගන්නා ලද තුවාල හේතුවෙන් සිදුවූ සියදිවි නසාගැනීමක් බව විශේෂඥ වෛද්‍ය කමිටු වාර්තාව මගින් තහවුරු කර තිබේ. මුදල් අමාත්‍යාංශයේ ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි ඒ මහතා පසුගියදා අබිරහස් ලෙස මියගොස් සිටියදී සොයා ගැනුණි.
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මෙම නිලධාරියා තමන්ට හුරු දකුණු අතින්, වම් අතේ සහ පාද දෙකේම බල නහර කපා ගැනීමෙන් සිදුවූ අධික රුධිර වහනය හේතුවෙන් මරණය සිදුව ඇති බවයි. සිරුරේ තිබූ තුවාල රංග රාජපක්ෂ මහතා විසින්ම සිදුකරගන්නා ලද ඒවා බව අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සිව්දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් තහවුරු කර ඇත.
මෙම මරණයට හේතුව සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කර තිබුණි. මියගිය නිලධාරියාගේ සිරුරේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ලැබුණු බව පොලිසිය මීට පෙර වාර්තා කර තිබූ අතර වෛද්‍ය වාර්තාව මගින් එම සැකය නිරාකරණය කර තිබේ.














