සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් දේශපාලන වශයෙන් එක්ව අවසන් බැවින්, ඒ සඳහා තවදුරටත් නව කමිටු පත්කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ “පච මදිවට හොරු” යන තේමාව යටතේ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැති සමගි ජන බලවේග මැයි දින රැළිය අමතමිනි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම මැයි දින රැළිය වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් පක්ෂ දෙක එක්ව වැඩකිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායකවරයා මෙසේ සඳහන් කළේය. හිටපු ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයට ස්තූතිය පළ කළ සජිත් ප්‍රේමදාස මහතා, පක්ෂ දෙක මේ වන විටත් සාර්ථකව එක්ව ඇති බැවින් තවදුරටත් කමිටු හරහා කාලය ගත කිරීමට අවශ්‍ය නොවන බව අවධාරණය කළේය.
මෙම දේශපාලන එකමුතුව බිඳ දැමීම සඳහා කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියා කරන සුළු පිරිසක් සිටින බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, එම කුමන්ත්‍රණවලට ඉඩ නොතබා අනිවාර්යයෙන්ම පක්ෂ දෙක එක්ව ඉදිරි ගමන ශක්තිමත් කරන බවට සහතික විය. තවද, වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ ඔහු, වත්මන් පාලනය “වැඩබැරි ආණ්ඩුවක්” ලෙස හඳුන්වා දුන්නේය.














