හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු බව කියන ආරාධනය සම්බන්ධ තොරතුරු අපරාධමය කරුණුවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ විධිමත් ලෙස ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා විසින් යොමුකළ ලිපියක් මඟින් 2002 අංක 25 දරන අපරාධමය කරුණුවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත ප්‍රකාරව අදාළ තොරතුරු ලබාගැනීමට විධිමත් අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
මෙම නඩුව පසුගියදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ අදාළ ලිපිය අධ්‍යයනය කර ඉදිරි පියවර ගන්නා බවයි. අදාළ විශ්වවිද්‍යාලය මඟින් මීට පෙර තැපැල් මාර්ගයෙන් ලබාදුන් තොරතුරු දැනටමත් තම දෙපාර්තමේන්තුව සතුව පවතින බවද ඔවුන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළහ.
එමෙන්ම මෙම බ්‍රිතාන්‍ය සංචාරයට අදාළව හිටපු ජනාධිපති ආර්යාව වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ලබාගත් ප්‍රකාශවල විස්තර ද මෙහිදී අධිකරණයට ඉදිරිපත් කෙරිණි.














