පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව, හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු වන රංජන් සෙනරත් යන අයට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (15) නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහු ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත යුතුද නැද්ද යන්න පිළිබඳව පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයට සහ අධිකරණයට වාර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 22 වන දින අධිකරණයේ පෙනී සිට හේතු දක්වන ලෙස ජාතික රෝහලේ අධ්යක්ෂවරයාට මහේස්ත්‍රාත්වරයා මෙහිදී නොතිසි නිකුත් කළේය. යුද හමුදා බුද්ධි අංශය සහ ඇතැම් නිලධාරීන් පාස්කු ප්‍රහාරයට පෙර තොරතුරු දැන සිටියද ඒවා වසන් කර ඇති බවට අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයේදී කරුණු අනාවරණය කළ අතර, සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශාවින්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ බී වාර්තාවල සඳහන් වන කරුණු සාක්ෂි නොවන බවයි. මෙම නඩුව යළි සැප්තැම්බර් 22 වන දින කැඳවීමට නියමිතය.














