රන්වීර් සිං ප්‍රධාන චරිතය නිරූපණය කරන ‘ධුරන්ධර් 2’ (Dhurandhar The Revenge) චිත්‍රපටය ගෝලීය බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා අතර තෙවන ස්ථානයට පත්වීමට සමත්ව තිබේ. ඒ අනුව අල්ලු අර්ජුන්ගේ ‘පුෂ්පා 2’ චිත්‍රපටය ලබා තිබූ ඉන්දීය රුපියල් කෝටි 1742 ක ආදායම අභිබවා යමින් මෙම වාර්තාව පිහිටුවා ඇත.
දැනට චිත්‍රපටයේ සමස්ත ලෝක ආදායම රුපියල් කෝටි 1748.91ක් ලෙස සටහන් වන අතර එයට ඉදිරියෙන් පසුවන්නේ ‘බාහුබලි 2’ (කෝටි 1788) සහ ‘දංගල්’ (කෝටි 2090) යන චිත්‍රපට පමණි. ඉන්දීය දේශීය සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ හින්දි චිත්‍රපටය බවට පත්ව ඇත්තේ ද මෙය වන අතර, එහි දළ දේශීය ආදායම රුපියල් කෝටි 1329.31ක් වේ. මීට අමතරව ගෝලීය වශයෙන් රුපියල් කෝටි 3000 සීමාව පසු කළ එකම ඉන්දීය චිත්‍රපට මාලාව බවට ‘ධුරන්ධර්’ චිත්‍රපට මාලාව පත්වීම ද විශේෂත්වයකි.
ප්‍රදර්ශනය ආරම්භ වී පස්වන සතිය වන විට චිත්‍රපටයේ ආදායම් වේගය යම් මන්දගාමී ස්වභාවයක් ගෙන තිබේ. අක්ෂේ කුමාර්ගේ ‘භූත් බංග්ලා’ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වීම මෙලෙස ආදායම් අඩුවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව සිනමා විචාරකයෝ පෙන්වා දෙති. ආදිත්‍ය ධර් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ක්‍රියාදාම චිත්‍රපටය සඳහා සංජේ දත්, අර්ජුන් රාම්පාල්, ආර්. මාධවන් සහ සාරා අර්ජුන් ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වී සිටිති.














