සබරගමුව පළාතේ රත්නපුර හෙද විදුහලේ 2021 සිසු හෙද කණ්ඩායමේ හිස්වැසුම් පැළඳවීම සහ සේවයට කැපවීමේ උළෙල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
තුන් අවුරුදු පාඨමාලාවේ පළමු වසරේ න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කළ සිසු හෙද හෙදියන් 121 දෙනෙකු සඳහා මෙහිදී හිස්වැසුම් පැළඳවීම සිදු කෙරිණි. එමෙන්ම රෝගීන් වෙනුවෙන් උපරිම කැපවීමෙන් සේවය කිරීමට නයිටිංගේල් ප්‍රතිඥාව ලබාදීම, පහන් දැල්වීම සහ පුෂ්පෝහාර දැක්වීම වැනි විශේෂාංග රැසකින් උත්සවය සමන්විත විය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය සේවාවේ 45,000ක් පමණ හෙද වෘත්තිකයන් සේවය කරන බවයි. පළමු වසර සාර්ථකව නිම කළ මෙම කණ්ඩායම ප්‍රායෝගික සායනික සේවා සඳහා රෝහල් පද්ධතියට එක්වීම මගින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත තවදුරටත් ශක්තිමත් වන බවත්, රෝගී සුරක්ෂිතභාවය වෙනුවෙන් ගුණාත්මක සේවාවක් ලබාදීමට සියලු දෙනා අදිටන් කරගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
1959 වර්ෂයේ ආරම්භ කරන ලද රත්නපුර හෙද විදුහල සබරගමුව පළාතට ඇති එකම හෙද විද්‍යාලය වන අතර, මෙවර 2021 සිසු කණ්ඩායම දිවයිනේම ඉහළම සාමාර්ථ ලබා ගැනීම විශේෂත්වයකි. මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අංශයේ ප්‍රධානීන්, හෙද විදුහල්පතිවරුන්, ආචාර්යවරුන් සහ දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.














