රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේර මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස පත් කර තිබේ. මෙම පත්කිරීම 2026 ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කර ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදාපති වයිස් අද්මිරාල් දමියන් ප්‍රනාන්දු මහතා විසින් ඊයේ (07) නාවික හමුදා මූලස්ථානයේදී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේර මහතා වෙත නිල වශයෙන් පිළිගැන්වීය.
කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඒ මහතා, 1992 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක ශාඛාවට එක්වී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. 1994 වසරේදී වැඩබලන උප ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත් වූ ඔහු, ඉන්දීය නාවික හමුදාව සමඟ යාත්‍රා කිරීමේ විශේෂඥ පුහුණුව, චීනයේ නාවික අණ සහ මාණ්ඩලික පාඨමාලාව සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාලයේ පාඨමාලා සාර්ථකව හදාරා ඇත. එසේම ඕස්ට්‍රේලියාවේ වොලොන්ගොන්ග් විශ්වවිද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ඔහු හිමිකරගෙන තිබේ. 2024 ජනවාරි මාසයේදී ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් විය.
සිය වෘත්තීය ජීවිතය තුළ නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා ඇතුළු නෞකා රැසක අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර ඇති අතර, විශේෂ බෝට්ටු බලඝණයේ (SBS) අණදෙන නිලධාරී, නාවික පුද්ගල අධ්‍යක්ෂ, පුද්ගල අධ්‍යක්ෂ ජනරාල් සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වැනි තීරණාත්මක තනතුරු දරමින් නාවික හමුදාවට විශිෂ්ට සේවාවක් ඉටු කර ඇත. නව මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වීමට පෙර ඔහු නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කළේය.
සටන් බිමේ දැක්වූ අතිවිශිෂ්ට වීරත්වය වෙනුවෙන් රණ ශූර පදක්කම් (RSP) නව වතාවක් හිමි කරගෙන ඇති ඒ මහතා, දේශයට ඉටු කළ අමිල සේවය සහ කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමින් (USP) ද පිදුම් ලබා ඇත. නාවික හමුදාව වෙනුවෙන් රග්බි, පැසිපන්දු සහ මලල ක්‍රීඩා අංශවලින් නායකත්වය සහ දක්ෂතා දැක්වූ බහුශ්‍රැත ක්‍රීඩකයෙකු ලෙස ද රියර් අද්මිරාල් තිසේර මහතා ප්‍රකටය.
















