ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ගුවන් ගමන් ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් ඉහළ යාම නිසා විදේශ බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කිරීමට යන බැතිමතුන් මෙන්ම එම චාරිකා සංවිධායකයින් ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර හල්ලොලුව මහතා පවසයි.
බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි විදේශ බෞද්ධ චාරිකා සංවිධාන 270ක් පමණ පවතින බව පෙන්වා දෙන ඒ මහතා, වන්දනා චාරිකා සැලසුම් කරන්නේ මාස කිහිපයකට පෙර බැවින් හිටිහැටියේ සිදුවන මිල වෙනස්වීම් සංවිධායකයින්ට දැඩි බලපෑමක් එල්ල කරන බව කියා සිටියි. දැනට පවතින ගැටලු අතර වීසා පහසුකම් සීමා කිරීම්, වීසා ගාස්තු ඉහළ යාම සහ ඉන්ධන මිල ඉහළ යාම නිසා විදේශීය රටවල දේශීය ප්‍රවාහන ගාස්තු ඉහළ යාම ප්‍රධාන වේ.
මෙම තත්ත්වය හමුවේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම හරහා හෝ ගුවන් ටිකට්පත් සඳහා සහනයක් ලබා දෙන ලෙස හල්ලොලුව මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම, ඇතැම් සංවිධාන ඉතා අඩු මිලට වන්දනා චාරිකා සංවිධානය කරමින් නීති විරෝධී ක්‍රියාවල නිරත වන බවට චෝදනා කරන ඒ මහතා, ලියාපදිංචි සංවිධානවලට සිදුවන අසාධාරණය පිළිබඳව සහ එවැනි නීති විරෝධී ක්‍රියා පිළිබඳව සොයා බලන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
















