මහමාර්ගවල සිදුවන රිය අනතුරු පොලිසියට වාර්තා නොකරන රියැදුරන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති (DIG) ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එම වාර්තාවේ ඇතුළත් වැදගත් කරුණු කිහිපයක් මෙසේය:
පොලිස් වාර්තාවලට අනුව නිල වශයෙන් වාර්තා වන රිය අනතුරු සංඛ්‍යාවට වඩා සැබෑ ලෙස සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතී. බොහෝ අවස්ථාවලදී අනතුරු සිදු වූ ස්ථානයේදීම දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ නිරවුල් කරගැනීම නිසා ඒවා පොලිසියට වාර්තා නොවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි.
ඕනෑම රිය අනතුරක් පැය 24ක් ඇතුළත පොලිසියට වාර්තා කිරීම අනිවාර්ය බවත්, එය පැහැර හැරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඔහු අවධාරණය කළේය. අනතුරක් සිදුවූ විට එය පොලිසියට වාර්තා කිරීම රියැදුරන් සතු වගකීමකි.
මේ වසරේ (2026) මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන පදවා අත්අඩංගුවට ගත් රියැදුරන් සංඛ්‍යාව 7,500කට අධිකය. පසුගිය වසරේ (2025) අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව මෙවර මාරක රිය අනතුරු 98කින් සහ මරණ 104කින් ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, සතිපතා දත්ත අනුව අනතුරු ක්‍රමයෙන් පහළ යමින් පවතින බවත්, එය පාලනය කිරීමට විශේෂ මෙහෙයුම් දියත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.
මේ අතර, පුත්තලම, තිල්ලායඩි ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. අනුරාධපුරයේ සිට මීගමුව දෙසට ධාවනය වූ වෑන් රථයක් වෙනත් මෝටර් රථයකට මග හැරීමට උත්සාහ කිරීමේදී මාර්ගයෙන් ඉවතට පැන ති‍්‍රරෝද රථයක සහ ගොඩනැගිල්ලක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
















