අප්‍රේල් 10 සිට 15 දක්වා කාලය තුළ දිවයින පුරා සිදු වූ මාර්ග අනතුරු 42 කින් පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා අද (17) ප්‍රකාශ කළේය. මෙවර වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ යතුරුපැදි අනතුරු වන අතර, බීමත්ව හෝ අපරීක්ෂාකාරී ලෙස රිය පදවා “කාඩ්බෝඩ් වීරයන්” වීමට උත්සාහ නොකරන ලෙස ඔහු විශේෂයෙන් තරුණයන්ගෙන් ඉල්ලා සිටියි.
අප්‍රේල් 13 සිට 15 දක්වා අවුරුදු දින තුනේදී පමණක් මරණ 19 ක් වාර්තා වී ඇති අතර, ඉන් 16 ක්ම යතුරුපැදි අනතුරු වීම විශේෂත්වයකි. තනි රෝදයෙන් යතුරුපැදි ධාවනය කරන පුද්ගලයන් සම්බන්ධ වීඩියෝ දර්ශන 23 ක් පොලිසියට ලැබී ඇති අතර ඉන් 11 දෙනෙකුට එරෙහිව මේ වන විටත් නීතිමය පියවර ගෙන තිබේ. බීමත් රියදුරන් 230 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරියේදීත් අපරාධ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය. කෙසේ වෙතත්, 2025 වසරට සාපේක්ෂව මෙවර අවුරුදු දින තුන තුළ සිදු වූ මරණ සංඛ්‍යාව 26 සිට 19 දක්වා පහළ බැස ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.














