රුමේනියාවේ යුරෝපා සංගම් හිතවාදී පක්ෂ හතරකින් සමන්විත පුළුල් පාලක සන්ධානය තුළ දැඩි දේශපාලන නොසන්සුන්තාවයක් නිර්මාණය වී ඇති පසුබිමක, රට පාලනය කිරීම සඳහා එම සන්ධානයට පැහැදිලි විකල්පයක් නොමැති බව එරට ජනාධිපති නිකුසෝර් දෑන් ප්‍රකාශ කරයි. සන්ධානයේ ප්‍රධානතම පක්ෂය වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (PSD), ලබන සඳුදා දිනයේදී අග්‍රාමාත්‍ය ඉලී බොලෝජන්ගෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටීමට සූදානම් වන බවට වාර්තා පළ වී තිබේ. රුසියානු මැදිහත්වීම් පිළිබඳ සැක මත අවලංගු කර යළි පවත්වන ලද ජනාධිපතිවරණයෙන් පසු, මෙම සන්ධානය බලයට පත්වූයේ මීට මාස දහයකට පෙරය.
සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ලිබරල් අග්‍රාමාත්‍යවරයා අතර රජයේ වියදම් කපා හැරීම් සම්බන්ධයෙන් දිගින් දිගටම මතභේද පවතින අතර, සඳුදා පැවැත්වීමට නියමිත අභ්‍යන්තර ඡන්ද විමසීම සන්ධාන ගිවිසුම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකේ. කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය බොලෝජන් තමන් ධුරයෙන් ඉල්ලා අස් නොවන බව අවධාරණය කර ඇති අතර, එය රට දේශපාලන අස්ථාවරත්වයක් කරා ගෙන යාමට හේතු විය හැකි බව විචාරකයෝ පෙන්වා දෙති. පවතින තත්ත්වය හමුවේ රජය පවත්වාගෙන යාම සඳහා දැනට සිටින පාර්ශ්වයන්ට එක්ව කටයුතු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ජනාධිපති දෑන් ප්‍රාදේශීය ගුවන් විදුලි නාලිකාවකට අදහස් දක්වමින් සඳහන් කළේය.

















