ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති සුමිත් දසනායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ජිනීවාහි පලයිස් විල්සන් මූලස්ථානයේදී පැවැති මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනික සහ සමාජීය තත්ත්වයන් මෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් සිදුව ඇති නවතම වර්ධනයන් පිළිබඳව තානාපතිවරයා විසින් මහ කොමසාරිස්වරයා දැනුවත් කරන ලදී.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ මහ කොමසාරිස් කාර්යාලය සමඟ ශ්‍රී ලංකාව පවත්වන නිර්මාණාත්මක සබඳතාව තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන බව තානාපති දසනායක මහතා මෙහිදී අවධාරණය කළේය. තානාපතිවරයා ලබාදුන් පැහැදිලි කිරීම් පිළිබඳව සිය ස්තුතිය පළ කළ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා, සිය කාර්යාලය හරහා ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය ඉදිරියටත් ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ. දෙපාර්ශවයටම වැදගත් වන පොදු කරුණු රැසක් පිළිබඳව මෙහිදී ඉතා සුහදව අදහස් හුවමාරු කරගත් බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.














