ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ජාත්‍යන්තර පරිසර ප්‍රමිතීන්ට අනුගත කිරීමේ තීරණාත්මක පියවරක් සනිටුහන් කරමින්, RTS Holdings සමාගමට අයත් හිදැල්ලන සහ අවිස්සාවේල්ල තේ කර්මාන්තශාලාවලට “Zero Carbon Manufacturing” සහතිකය හිමි වී තිබේ. ‘The Sustainable Future Group’ විසින් පිරිනමන මෙම සහතිකය හරහා අදාළ කර්මාන්තශාලා දෙක සිය නිෂ්පාදන ක්‍රියාවලියේදී හරිතාගාර වායු විමෝචනය ශූන්‍ය මට්ටමට (Net Zero) පවත්වාගෙන යන බව තහවුරු වේ.
ISO 14064-1 ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකළ ස්වාධීන විගණනයකින් පසු මෙම ඇගයීම හිමිව ඇත. මෙහිදී සමාගම විසින් කාබන් ඩයොක්සයිඩ් ටොන් 1,020 ක ප්‍රමාණයක් පරිසරයට මුදා හැරීම නතර කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කාබන් ණය (Carbon Credits) සහතික කළ ජල විදුලි ව්‍යාපෘතියක් හරහා ලබාගෙන තිබේ. ලලිත් ලියනගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් RTS Holdings සමාගම ලබාගත් මෙම ජයග්‍රහණය, උසස් තත්ත්වයේ “සිලෝන් ටී” (Ceylon Tea) නිෂ්පාදනය ජාත්‍යන්තර තිරසාර වෙළඳපොළට හඳුන්වා දීමට ලැබුණු විශාල ශක්තියකි.














