කෙන්යාවේ පැවති Kip Keino Classic තරගාවලියේදී මීටර් 89.28ක දක්ෂතාවක් දක්වමින් නව තරග වාර්තාවක් පිහිටුවූ ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග සහ ඔහුගේ පුහුණුකරු ඊයේ (27) ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමු විය. “Mission Olympic” වැඩසටහන හරහා තමන්ට ලබාදෙන මූල්‍ය හා තාක්ෂණික ආධාර පිළිබඳව ක්‍රීඩකයා සහ පුහුණුකරු මෙහිදී අමාත්‍යවරයා වෙත සිය කෘතඥතාව පළ කර තිබේ.
රුමේෂ් තරංගගේ ජාත්‍යන්තර ජයග්‍රහණ අගය කළ අමාත්‍යවරයා ඉදිරි තරගාවලි සඳහා වන සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා දිය හැකි ඉහළ විභවයක් ඔහු සතු බව හඳුනාගත් අමාත්‍යවරයා ඔහු වෙනුවෙන් අවශ්‍ය සියලුම මූල්‍ය ප්‍රතිපාදන, විදේශ පුහුණු අවස්ථා සහ අනෙකුත් පහසුකම් ලබාදීමට පූර්ණ පොරොන්දුව ලබා දී ඇත.
රුමේෂ් තරංග යනු මෙරටට ඔලිම්පික් බලාපොරොත්තුවක් ගෙන ආ ක්‍රීඩකයෙකු බවත් ඔහුට සහ ඔහුගේ පුහුණුකරුට උපරිම සහයෝගය ලබාදීම අමාත්‍යාංශයේ වගකීමක් බවත් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙම සහයෝගය ජාත්‍යන්තර තලයේ සාර්ථකත්වය කරා යන ගමනේදී තමන්ට විශාල ශක්තියක් වන බව රුමේෂ් තරංග මෙහිදී පවසා සිටියේය.














