ජාත්‍යන්තර මලල ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුව හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලොව අංක එකේ ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු එකක් පමණි.
දැනට ජර්මනියේ ජුලියන් වේබර් ලකුණු 1348ක් ලබා ශ්‍රේණිගත කිරීමේ පෙරමුණේ පසුවන අතර, රුමේෂ් තරංග ලකුණු 1347ක් ලබා දෙවන ස්ථානයේ පසු වේ. මෙම මස 23 වනදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහිදී ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රුමේෂ් තම ස්ථානය තහවුරු කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පසුගිය මාස 05ක කාලය තුළ රන් පදක්කම් 07ක් දිනා ගනිමින් රුමේෂ් අතිවිශිෂ්ට දක්ෂතා පෙන්වීය. දෝහා ඩයමන්ඩ් ලීග් තරඟාවලියේදී ලෝක ශූර ඇන්ඩර්සන් පීටර්ස් සහ ඔලිම්පික් රන් පදක්කම්ලාභී නිරාජ් චොප්රා පරාජය කරමින් ඔහු රන් පදක්කම දිනා ගැනීම කැපී පෙනෙන සිදුවීමකි. එහිදී ඔහු මීටර් 88.68ක දක්ෂතාවක් පෙන්වූ අතර, ඉතාලියේ රෝම නුවර පැවති තරඟයකදී මීටර් 92.62ක නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමටද සමත් විය. මෙම දක්ෂතාව 2026 වසරේ ලෝකයේ වාර්තා වූ ඉහළම හෙල්ල විසි කිරීමේ දුර ලෙසද සැලකේ.
මලල ක්‍රීඩකයන් 25,000කට වැඩි පිරිසකගේ දක්ෂතා සැලකිල්ලට ගැනීමේදී රුමේෂ් මේ වන විට ලොව 67 වන ස්ථානයේ පසුවන අතර, ආසියානු ක්‍රීඩකයන් අතුරින් ජපානයේ ටොසිකාසු යමන්ෂිට පමණක් දෙවැනි වෙමින් 51 වන ස්ථානයේ පසුවීමද විශේෂත්වයකි.














