රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා හෙට (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ රුසියානු දූත පිරිස මෙම සංචාරයේදී විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස මැයි 04 වන දින කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරයක නිරතවීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර සබඳතා වර්ධනය කිරීම සඳහා නව අවබෝධතා එකඟතාවලට එළඹීමටද අදහස් කර තිබේ.
මීට අමතරව ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදීම, වෛද්‍ය විශේෂඥයින් පුහුණු කිරීම, අධ්‍යයන සහයෝගීතාව, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සහ සංචාරක සෞඛ්‍ය සේවාව වැනි ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා සෞඛ්‍ය සේවාවේ එක් එක් අංශ සමග සාකච්ඡා සහ අදහස් හුවමාරු කර ගැනීමට රුසියානු දූත පිරිස සැලසුම් කර ඇත. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස සිය තෙදින නිල සංචාරය නිම කර මැයි 05 දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.














