උණවටුන ප්‍රදේශයට පැමිණෙන විදේශීය සංචාරකයන් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ වටිනා ජංගම දුරකථන සොරකම් කළ පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. සැකකරු උණවටුන ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා සේවයට පැමිණි අයෙකු බවත්, එම රැකියාවේ නිරතවන අතරතුර අවස්ථා තුනකදී විදේශිකයන්ට අයත් ජංගම දුරකථන 4ක් සොරකම් කර ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම ජංගම දුරකථන ඉතා ඉහළ වටිනාකමකින් යුත් ඒවා බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් උණවටුන සංචාරක පොලිසිය විසින් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.














