ජාත්‍යන්තරව පිළිගත් රාජ්‍යතාන්ත්‍රික සම්මුතීන් සහ නීති පද්ධතිය බැහැර කරමින්, ඇමෙරිකා එක්සත් ජනපදය තමන්ට රුචි පරිදි ලෝක බලශක්ති වෙළඳපොළ පාලනය කිරීමට උත්සාහ කරන බවට රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් දැඩි චෝදනාවක් එල්ල කර තිබේ. රුසියානු රාජ්‍ය රූපවාහිනිය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ වොෂින්ටනය වර්තමානයේ අනුගමනය කරන ක්‍රියාපිළිවෙත ජාත්‍යන්තර නීතියක් නොතිබූ “යටත් විජිත යුගයට” ලෝකය නැවත රැගෙන යාමක් බඳු බවයි.
තම රටට අවශ්‍ය ස්වභාවික සම්පත් පවතින රටවල පාලකයින් බලයෙන් පහ කිරීමට, පැහැර ගැනීමට හෝ ඝාතනය කිරීමට ඇමෙරිකාව ඕනෑම අවස්ථාවක සූදානම් බව ලැව්රොව් මෙහිදී අවධාරණය කළේය. පසුගිය ජනවාරි මාසයේදී ඇමෙරිකානු හමුදා මෙහෙයුමකින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම සහ පෙබරවාරි අග භාගයේදී ඇමෙරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වීම යන සිදුවීම් ඔහු මෙහිදී උදාහරණ ලෙස පෙන්වා දුන්නේය. ඉරානය සහ වෙනිසියුලාව සම්බන්ධයෙන් ඇමෙරිකාව දක්වන උනන්දුව පිටුපස ඇත්තේ තෙල් සම්පත මත තම ආධිපත්‍යය පැතිරවීමේ අරමුණ බව රුසියානු විදේශ ඇමතිවරයාගේ මතයයි.
එමෙන්ම යුරෝපය රුසියානු බලශක්තියෙන් ඈත් කර තැබීමටත්, නෝඩ් ස්ට්‍රීම් (Nord Stream) වැනි ගෑස් නල පද්ධති අත්හැරීමට බලපෑම් කිරීමටත් ඇමෙරිකාව කටයුතු කරන බව ඔහු පැවසීය. හංගේරියාව සහ ස්ලෝවැකියාව වැනි රටවලට රුසියානු ගෑස් මිලදී නොගන්නා ලෙස කරන බලපෑම් හරහා රුසියාව ගෝලීය බලශක්ති වෙළඳපොළෙන් ඉවතට තල්ලු කිරීමේ සැලසුම්සහගත වැඩපිළිවෙතක් ක්‍රියාත්මක වන බව ලැව්රොව් පවසයි. ජාත්‍යන්තර සබඳතාවලදී අනෙක් පාර්ශවයන්ගේ අවශ්‍යතාවලට ගරු කළ යුතු වුවද ඇමෙරිකාවෙන් එවැනි ගරුත්වයක් තවමත් දක්නට නොලැබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.













