රුසියාවේ මොස්කව් නුවර මේ මස පැවැත්වීමට නියමිත විජයග්‍රාහී දින පෙළපාලියට (Victory Day parade) සහභාගී වන ලොව සීමිත නායකයින් කිහිප දෙනා අතරට ස්ලෝවැකියානු අගමැති රොබට් ෆිකෝ (Robert Fico) ද ඇතුළත් වන බව රුසියානු රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරයි.පසුගිය මාසයේ හංගේරියාවේ වික්ටර් ඕර්බන් ලැබූ මැතිවරණ පරාජයෙන් පසුව, රොබට් ෆිකෝ දැනට යුරෝපා සංගමය තුළ සිටින රුසියාවට වඩාත්ම හිතවාදී නායකයා ලෙස සැලකේ. රුසියානු බලශක්තිය මත යැපීම අවසන් කිරීමට යුරෝපා සංගමය උත්සාහ කළද, හංගේරියාව සහ ස්ලෝවැකියාව දිගින් දිගටම රුසියානු ගෑස් සැපයුම පවත්වාගෙන යයි.යුක්රේන ආක්‍රමණයෙන් වසර දෙකකට පසු, එනම් 2024 වසරේදීද ෆිකෝ මොස්කව්හි සංචාරය කරමින් යුරෝපා සංගමයේ පොදු මතයට පටහැනිව කටයුතු කළේය. එහිදී ඔහු ව්ලැඩිමීර් පුටින් හමු වූ අතර, ඒ හේතුවෙන් ස්ලෝවැකියානු විපක්ෂයේ සහ බ්‍රසල්ස්හි (Brussels) දැඩි විවේචනයට ඔහු ලක් විය.
දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මනිය පරාජය කර සෝවියට් සංගමය ලැබූ ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් සෑම වසරකම මැයි 09 වනදා රතු චතුරශ්‍රයේදී මෙම පෙළපාලිය පැවැත්වේ. බෙලාරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ද මෙවර උත්සවයට සහභාගී වීමට නියමිතය.













