රුසියාව සහ උතුරු කොරියාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, දෙරට යා කරමින් ටූමන් (Tumen) ගංගාව හරහා ඉදිවන නව මහාමාර්ග පාලම ඉතා ඉක්මනින් විවෘත කිරීමට නියමිත බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය (KCNA) වාර්තා කරයි. මීටර් 850ක් දිගැති මෙම පාලම රුසියාවේ මහාමාර්ග පද්ධතිය සමඟ සෘජුව සම්බන්ධ වන අතර, එරට රුසියානු තානාපති කාර්යාලයට අනුව එහි වැඩකටයුතු එළඹෙන ජූනි 19 වැනිදා වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය 2024 වසරේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් මහතා උතුරු කොරියාවේ සිදුකළ සංචාරයේදී එළඹුණු එකඟතාවයක ප්‍රතිඵලයකි. නව පාලම විවෘත වීමත් සමඟ රුසියාවේ ව්ලැඩිවොස්ටොක් (Vladivostok) නගරය සහ උතුරු කොරියාවේ රාසොන් (Rason) නගරය අතර දුර කිලෝමීටර් 320ක් දක්වා අඩු වන අතර, දිනකට වාහන 300කට පමණ මෙහි ගමන් කිරීමට පහසුකම් සැලසෙනු ඇත.
මෙම පාලම හරහා දෙරට අතර සංචාරක කර්මාන්තය, වෙළෙඳාම සහ සංස්කෘතික සබඳතා ඉහළ නංවා ගැනීම අපේක්ෂාවයි. මීට අමතරව, රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිස් රැසක් මේ සතියේදී උතුරු කොරියාවේ සංචාරය කරමින් සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමට කටයුතු කරමින් සිටිති. චීනය ද වසර හයකට පසු උතුරු කොරියාව සමඟ මගී දුම්රිය සේවාව පසුගිය මාසයේදී යළි ආරම්භ කළ අතර, කලාපීය බලවතුන් උතුරු කොරියාව සමඟ පවතින සබඳතා අලුත් කරගැනීමේ ප්‍රවණතාවක් මෙහිදී දැකිය හැකිය.














