රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඇමරිකාව විසින් පෘථිවි කක්ෂයේ අවි ස්ථානගත කර ඇති බවට සිදුකර ඇති ප්‍රකාශය, අභ්‍යවකාශයේ ඇති විය හැකි ගැටුමක දීර්ඝකාලීන ප්‍රතිවිපාක නොසලකා හැරීමක් බවයි.
රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකාරෝවා සඳහන් කර ඇත්තේ කක්ෂයේ ඕනෑම සන්නද්ධ ගැටුමකින් මනුෂ්‍ය වර්ගයාට දැවැන්ත හානි සිදුවිය හැකි බවයි.
ඇය පෙන්වා දී ඇත්තේ අභ්‍යවකාශයේ ඇමරිකානු අවි පැවතීම හේතුවෙන් අභ්‍යවකාශ ගවේෂණයේ අනාගතයටද අවදානමක් ඇති වන බවයි.
එමෙන්ම, පෘථිවියේ විවිධ සමාජ හා ආර්ථික ක්‍රියාකාරකම් සඳහා අභ්‍යවකාශ තාක්ෂණය මත පවතින රඳාපැවැත්ම හේතුවෙන් එවැනි ගැටුමක බලපෑම ජනතාවගේ දෛනික ජීවිතයටද එල්ල විය හැකි බව රුසියාව පෙන්වා දෙයි.
ඇමරිකානු ගුවන් හමුදා ලේකම් ට්‍රෝයි මීන්ක් සඳහන් කර තිබුණේ ඇමරිකාව සතුව විරුද්ධ පාර්ශ්වයක සතුරු ක්‍රියාමාර්ගවලින් ඒකාබද්ධ හමුදා ආරක්ෂා කිරීමට හැකි **“on-orbit space control weapons”** පවතින බවයි.
මෙය අභ්‍යවකාශයේ ඇමරිකානු අවි සම්බන්ධයෙන් ඇමරිකානු නිලධාරියෙකු විසින් සිදුකළ ප්රබලතම පිළිගැනීමක් ලෙස සැලකෙන බව රොයිටර්ස් වාර්තා කරයි.
රුසියාව සහ චීනය සමඟ අභ්‍යවකාශ ක්ෂේත්රයේ ආතතීන් ඉහළ යමින් පවතින පසුබිමක මෙම ප්‍රකාශය සිදුවීම විශේෂ අවධානයකට ලක්ව තිබේ.
කෙසේ වෙතත්, රුසියාව ඇමරිකාවේ මෙම පියවර විවේචනය කරමින් පවසන්නේ එය අභ්‍යවකාශයේ අවි තරගයක් සහ දිගුකාලීන අස්ථාවරත්වයක් ඇති කිරීමේ අවදානම වැඩි කළ හැකි බවයි.














