බටහිර ආසියානු කලාපයේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැයි 14-15 දිනවල ඉන්දියාවේ පැවැත්වෙන බ්‍රික්ස් (BRICS) විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා රුසියානු සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් පැමිණීමට නියමිත බව වාර්තා වේ. රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා මේ සඳහා සහභාගී වන බව දැනටමත් තහවුරු කර ඇති අතර, ඉරාන විදේශ අමාත්‍ය සෙයියද් අබ්බාස් අරාග්චි මහතාගේ සහභාගීත්වය ද වත්මන් සැලසුම්වලට ඇතුළත් කර ඇති බව ඉරානය විසින් ඉන්දියාවට දැනුම් දී තිබේ.
කෙසේ වෙතත්, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගේ සහභාගීත්වය මෙතෙක් තහවුරු වී නොමැත. ඒ බ්‍රික්ස් රැස්වීම පවතින දිනවලදීම පැවැත්වීමට නියමිත ට්‍රම්ප් – ෂී ජින්පින් රාජ්‍ය නායක සමුළුව සඳහා ඔහුගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය වී ඇති බැවිනි.
ඉරාන විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය කෙරෙහි දැනට පවතින අමෙරිකානු – ඉරාන සටන් විරාමයේ ස්ථාවරභාවය තීරණාත්මක සාධකයක් වනු ඇත. අමෙරිකානු සම්බාධක ඉවත් කිරීමට හිලව් වශයෙන් ඉරානයේ යුරේනියම් සාරවත් කිරීමේ වැඩසටහන වසර 12 කට නතර කරන ලෙස ඉල්ලා සිටින කරුණු 14 කින් යුත් අමෙරිකානු සාම යෝජනාව පිළිබඳව ටෙහෙරානය මේ වන විට අධ්‍යයනය කරමින් සිටී. 2024 වසරේදී බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය ලබාගත් ඉරානය, බටහිර ආසියානු ගැටුම් සම්බන්ධයෙන් අමෙරිකා – ඊශ්‍රායල ක්‍රියාවන්ට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීම සඳහා පොදු එකඟතාවයක් ඇති කිරීමට සහාය වන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා ඇත.














