ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි සුප්‍රකට ‘එම්පයර් ස්ටේට්’ (Empire State Building) ගොඩනැගිල්ලේ මහජනතාවට තහනම් ඉහළම කුළුණ මුදුනට අනවසරයෙන් නැග විවාහ යෝජනාවක් සිදුකළ රුසියානු ජාතික යුවළක් නිව්යෝර්ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කිසිදු ආරක්ෂිත උපකරණයකින් තොරව ලොව පුරා උස් ගොඩනැගිලි මතට නැගීම (Rooftopping) නිසා සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ප්‍රසිද්ධියක් උසුලන ඇන්ජෙලා නිකොලාවු (Angela Nikolau) සහ අයිවන් බීර්කස් (Ivan Beerkus) යන යුවළයි.
පසුගිය ජූලි 1 වැනිදා දහවල් කාලයේදී මුහුණු ආවරණය කරගනිමින් අඩි 1,454ක් උසැති මෙම ඓතිහාසික ගොඩනැගිල්ලේ ඇන්ටනාව සහිත කුළුණ මුදුනටම නැගි මොවුන්, එහිදී ලෝක සාමය ඉල්ලන විශාල බැනරයක් ද ප්‍රදර්ශනය කර තිබුණි. ඉන්පසු කුළුණේ මඳක් පහළ වේදිකාවකට පැමිණි තරුණයා, එහිදී තරුණිය ඉදිරියේ දණින් හිඳ විවාහ යෝජනාව සිදුකර ඇති අතර ඔවුන් වැළඳගෙන සිපගන්නා අයුරු පොලිස් හෙලිකොප්ටර් සහ නගරයේ කැමරාවල සටහන්ව තිබිණි. තරුණිය පසුව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට මුද්දේ ඡායාරූප ද එක්කර තිබුණ ද, මෙම අවදානම් සහගත ක්‍රියාව දුටු නිව්යෝර්ක් පොලිසියේ හදිසි සේවා අංශය වහා ක්‍රියාත්මක වී ගොඩනැගිල්ල මුදුනේදීම ඔවුන්ව අත්අඩංගුවට ගත්තේය. නොසැලකිලිමත් ලෙස ජීවිත අනතුරේ හෙළීම සහ අනවසරයෙන් ඇතුළුවීම ඇතුළු චෝදනා රැසක් යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතය.
















