යුක්‍රේනයේ කියව් අගනුවර ඉලක්ක කරගනිමින් සති දෙකකට පසු එල්ල වූ දරුණුතම රුසියානු ගුවන් ප්‍රහාර මාලාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 28 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. යුක්‍රේනයේ බොහෝ ප්‍රදේශවලට ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ අතර, මෙම ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් කියව් නගරයේ විදුලි රැහැන් පද්ධතිවලට සිදුවූ හානි හේතුවෙන් පාරිභෝගිකයන් 140,000කට අධික පිරිසකට විදුලි බලය ඇනහිට ඇත.
යුක්‍රේන ආරක්ෂක අංශ පවසන පරිදි රුසියාව විසින් මිසයිල 70ක් සහ ඩ්‍රෝන යානා 611ක් වැනි දැවැන්ත ප්‍රහාරක බලඇණියක් මුදාහැර ඇති අතර, ඉන් මිසයිල 50ක් සහ ඩ්‍රෝන යානා 582ක් අහසේදීම විනාශ කිරීමට යුක්‍රේන ගුවන් ආරක්ෂක පද්ධති සමත්ව තිබේ. කෙසේ වෙතත්, ප්‍රහාර හේතුවෙන් යුක්‍රේන සංස්කෘතික ඉතිහාසයේ සුවිශේෂී සංකේතයක් බඳු වූ කියව්හි පෙචර්ස්ක් ලව්රා (Kyiv Pechersk Lavra) දේවස්ථාන පරිශ්‍රයේ දරුණු ගින්නක් හටගෙන ඇත.
යුක්‍රේන ජනාධිපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ මෙය ක්‍රිස්තියානි සංස්කෘතියට එරෙහිව රුසියාව සිදුකළ විශාලතම අපරාධයක් බවයි. කෙසේ වෙතත්, රුසියාව එම චෝදනාව ප්‍රතික්ෂේප කර සිටියි.
















