රුවන්වැල්ල, පහලකුරුපැත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 81 හැවිරිදි වයෝවෘද්ධ මවකගේ මළ සිරුරක් පසුගිය ජූනි 22 වන දින පොලිසිය විසින් සොයාගෙන ඇත. මියගිය මව දින කිහිපයකට පෙර මියගොස් තිබූ අතර, සොයාගන්නා විටත් සිරුර දැඩි ලෙස නරක් වී දුගඳ හමමින් තිබූ බව වාර්තා වේ. මීට වසරකට පමණ පෙර කොළඹ, කොටහේන ප්‍රදේශයේ සිට පැමිණි මව සහ ඇගේ දියණියන් දෙදෙනා මෙම නිවසේ පදිංචිව සිට ඇත.
සිද්ධියට පෙර දින දියණියන් දෙදෙනා වෙනත් නිවසක් කුලියට ගෙන මෙම නිවසින් පිටව ගොස් ඇත්තේ “පසුදින මව රැගෙන යනවා” යනුවෙන් පවසමිනි. කෙසේ වෙතත්, ජූනි 22 වන දින සවස නිවසින් හමූ අධික දුගඳ හේතුවෙන් අසල්වැසියන් සිදුකළ පරීක්ෂාවකදී මළ සිරුර දැක පොලිසිය දැනුවත් කර තිබේ. මව දැඩි ලෙස අසනීපයෙන් පසු වූ බව අසල්වැසියන් දැන සිටියද ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු වී නොතිබූ බව පැවසේ. තම නිවසේ සිටියදීම මව මියගොස් ඇති බව තමන් නොදැන සිටි බව දියණියන් පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇති අතර, ඔවුන්ගේ මෙම ප්‍රකාශය මේ වන විට දැඩි ප්‍රශ්නාර්ථයක් මතු කර තිබේ.
ස්ථිර නිවසක් නොමැතිව අතිශය දරිද්‍රතාවයෙන් සහ අන්ත අසරණ තත්ත්වයකින් පසුවූ පවුලක හැසිරීමක් මෙම සිදුවීම තුළින් විද්‍යමාන වන බව වාර්තා වේ. රුවන්වැල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මේ වන විට ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇති අතර, මරණයට නිශ්චිත හේතුව වෛද්‍ය පරීක්ෂණයකින් පසු තහවුරු වීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
















