රුවන්වැල්ල, බුලත්කොහුපිටිය සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි 36,000ක් පමණ ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීම සඳහා රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ. අදියර දෙකකින් සමන්විත මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ කොන්ත්‍රාත්තුව මේ වන විටත් පිරිනමා අවසානයි.
ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ පොළව මට්ටමේ ජලාශ 03ක් සහ බූස්ටර් පොම්පාගාර 02ක් ඉදිකිරීමට නියමිතය. මෙයට අදාළ විද්‍යුත්-යාන්ත්‍රික ස්ථාපනයන් මෙන්ම සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ නළ එළීම ද මෙම කොන්ත්‍රාත් පැකේජයට ඇතුළත් වේ.
ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ කැඳවන ලද ලංසු 07ක් ඇගයීමෙන් අනතුරුව, ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s DIMO‑CRCC‑25 ඒකාබද්ධ ව්‍යාපාරය වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය කර ඇත. ඒ අනුව රුපියල් මිලියන 869.08ක (බදු රහිත) මුදලකට මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.














