විගණන සේවා කොමිෂන් සභාවට පත් කරන ලද නව සාමාජිකයන් සිවු දෙනෙකු ඊයේ (04) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්හ. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ ප්‍රතිපාදනවලට අනුව මෙම නිලධාරීන් විසින් විගණනයට අදාළ රහස්‍ය තොරතුරු ආරක්ෂා කිරීමට මෙහිදී ප්‍රතිඥා දෙනු ලැබීය.
හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා, හිටපු නියෝජ්‍ය විගණකාධිපති ජී. තේවඥානන් මහතා, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය සේවයේ විශ්‍රාමික නිලධාරියෙකු වන රත්න දේශප්‍රිය මහතා මෙලෙස දිවුරුම් දුන්හ.
ජාතික විගණන පනතේ 9 වැනි වගන්තියට අනුව, අධිකරණයක් හෝ පාර්ලිමේන්තුව නියම කරනු ලබන අවස්ථාවකදී හැර විගණනයට අදාළ තොරතුරු රජයේ හෝ පෞද්ගලික අංශයේ කිසිදු පාර්ශ්වයකට හෙළිදරව් නොකිරීමට මෙම සාමාජිකයන් බැඳී සිටී.















