එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටිංග්ස් (S&P Global Ratings) ආයතනය මඟින් ශ්‍රී ලංකාවේ මුදල් හුවමාරු සහ විදේශ විනිමය බවට පරිවර්තනය කිරීමේ ශ්‍රේණිගත කිරීම (Transfer and Convertibility Assessment) ‘CCC+’ සිට ‘B-‘ දක්වා ඉහළ නංවා තිබේ. එසේම ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහ කෙටිකාලීන විදේශීය හා දේශීය මුදල් ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+/C’ මට්ටමේ තහවුරු කර ඇත.
ඉදිරි මාස 6ත් 12ත් අතර කාලය තුළ මෙරට ආර්ථික වර්ධනය සහ මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් යහපත් මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බව පවසන S&P ආයතනය, ශ්‍රී ලංකාව මේ මොහොතේ ක්ෂණික ගෙවීම් හෝ මූල්‍ය අර්බුදයකට මුහුණ දී නොමැති බවද පෙන්වා දෙයි. කෙසේ වෙතත්, රාජ්‍ය ආදායමෙන් සියයට 45ක් පමණ පොලී ගෙවීම් සඳහා වැයවීම සහ ඉහළ ණය බර තවදුරටත් ප්‍රධාන අභියෝග ලෙස පවතින බවත්, යම් හෙයකින් මූල්‍ය කාර්යසාධනය දුර්වල වුවහොත් ඉදිරියේදී ශ්‍රේණිගත කිරීම් පහත හෙළීමේ අවදානමක් පවතින බවත් අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.














