දැවැන්ත සූර්ය බලශක්ති මධ්‍යස්ථාන සහ යෝධ ඇන්ටනා අභ්‍යවකාශයේදීම නිර්මාණය කිරීම සඳහා NASA ආයතනය වසර කිහිපයකට පෙර ‘SpiderFab’ නමින් රොබෝ තාක්ෂණික සිහිනයක් ඉදිරිපත් කළේය. රොකට් මගින් රැගෙන යා නොහැකි තරම් විශාල ව්‍යුහයන්, මකුළුවෙකු දැලක් වියන්නාක් මෙන් කාබන් ෆයිබර් (Carbon fibre) භාවිතයෙන් අභ්‍යවකාශයේදීම නිපදවීම මෙහි අරමුණ විය.
NASA ආයතනයට එය ප්‍රායෝගිකව අභ්‍යවකාශයට යැවීමට නොහැකි වුවද, චීනයේ ෂෙන්යැං ස්වයංක්‍රීයකරණ ආයතනයේ (Shenyang Institute of Automation) විද්‍යාඥයින් පිරිසක් එම අරමුණ ජය ගැනීමට අවශ්‍ය මූලික තාක්ෂණයන් නිපදවා ඇති බව පවසති. ඔවුන් කාබන් ෆයිබර් සංයුක්ත ද්‍රව්‍ය භාවිතයෙන් දිගු, කුහර සහිත බට (Tubes) නිපදවා ඇති අතර, ත්‍රිමාණ මුද්‍රණ (3D-printed) තාක්ෂණය සහ ලේසර් කිරණ භාවිතයෙන් එම බට එකිනෙකට සම්බන්ධ කිරීමේ ක්‍රමවේදයක් දියුණු කර ඇත.
මෙමගින් ඇණ හෝ මැලියම් භාවිතයකින් තොරව, ඉතා ශක්තිමත් සහ සැහැල්ලු ව්‍යුහයන් අභ්‍යවකාශයේදීම ඉදි කිරීමට මග පෑදේ. මෙය අනාගත අභ්‍යවකාශ ගවේෂණ සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.















