සමගි ජන බලවේගය පක්ෂය තුළ මේ වන විට බරපතළ අභ්‍යන්තර අර්බුදයක් සහ කඩා වැටීමක් නිර්මාණය වෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
එම අර්බුදයෙන් පක්ෂය ගලවා ගැනීමට පක්ෂයේ කිහිප දෙනෙක් අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටින බවත්, ඉදිරි දින කිහිපය තුළ සජබයේ තවත් ප්‍රබලයින් ආණ්ඩුව සමඟ එක්වීමට ඉඩ ඇති බවත් ඔහු සඳහන් කළේය.
දැනටමත් සජබ ප්‍රබලයෙකු වන ඉරාන් වික්‍රමරත්න මහතා ආණ්ඩුවට සම්බන්ධ වී සිටින අතර, තවත් ප්‍රබලයින් කිහිප දෙනෙකුද මේ වන විටත් ආණ්ඩුව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවට සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
විපක්ෂයේ දේශපාලන විවේචන සහ ඔවුන්ගේ අභ්‍යන්තර තීරණ ගැනීමේ ක්‍රියාවලියේ පවතින ගැටලු හේතුවෙන් එහි රැඳී සිටීමට බොහෝ පිරිසක් අකමැත්තෙන් සිටිති. ඉදිරි දින කිහිපය තුළ සිදුවීමට නියමිත මෙම දේශපාලන සංක්‍රමණය සජබය මුහුණ දෙන දැවැන්තම පසුබෑමක් වනු ඇතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














