ඊයේ (24) උදෑසන වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වූ ‘සාගරිකා’ සීඝ්‍රගාමී දුම්රිය සාර්ථකව යළි පීලිගත කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව තහවුරු කරයි. පීලිගත කිරීමෙන් අනතුරුව එම දුම්රිය මේ වන විට වාද්දුව දුම්රිය ස්ථානය වෙත යොමු කර තිබේ.
මෙම අනතුර හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට ඊයේ දැඩි බාධා එල්ල වූ අතර, දුම්රිය බලධාරීන්ගේ කඩිනම් මැදිහත්වීම මත ඊයේ රාත්‍රියේ සිටම එක් දුම්රිය මාර්ගයක් ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකි විය. අද උදෑසන වන විට මාර්ගයේ හානි වූ කොටස් බොහෝ දුරට යථා තත්ත්වයට පත් කර ඇති අතර, ඉතිරි අලුත්වැඩියා කටයුතු ද කඩිනමින් නිම කිරීමට කටයුතු යොදා ඇත.
මේ වන විට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.













