මුහුදුබඩ දුම්රිය මාර්ගයේ “සාගරිකා” සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමට බලපෑ නිශ්චිත හේතුව සෙවීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී දුම්රිය මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා මේ බව සඳහන් කළේය.
මෙම අනතුර නිසා කොන්ක්‍රීට් සිල්පර කොටවලට හානි සිදුව ඇති අතර, එම සිල්පර කොටවල පවතින ගැටලුවක් නිසා මෙම පීලි පැනීම සිදුවූයේද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත නිගමනයකට පැමිණ නැත. අදාළ සිල්පර කොට ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට අනුව නිසි ලෙස ලබාගත් ඒවා බවත්, ඒවා බාල තත්ත්වයේ ඒවා යැයි දැනට ප්‍රකාශ කළ නොහැකි බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අවධාරණය කළේය.
අනතුරට පත් වූ ද්විත්ව බලවේග කට්ටලයට සහ දුම්රිය මාර්ගයට සිදුව ඇති සමස්ත හානිය මෙතෙක් තක්සේරු කර නොමැත. හානියට පත් දුම්රිය කට්ටලය එම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් පසු පූර්ණ හානි තක්සේරුවක් සිදු කිරීමට නියමිත අතර, විමර්ශන කමිටු වාර්තාව ලැබුණු පසු පීලි පැනීමට බලපෑ සැබෑ හේතුව නිල වශයෙන් ප්‍රකාශ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.














