පසුගිය 24 වැනිදා නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුර නගරයේ පැවති දේශපාලන රැළියකට සහභාගි වූ සමගි ජන බලවේගයේ හිටපු තරුණ කටයුතු ලේකම් නිර්මාල් ප්‍රනාන්දු මහතා අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිය ක්‍රියාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය.
තමන් 2019 වසරේ සිට සමගි ජන බලවේගය සමඟ කටයුතු කළ බවත්, පානදුර ආසනයේ තරුණ කටයුතු සහ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ බවත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. ප්‍රදේශයට පත් වූ ඇතැම් ආසන සංවිධායකවරුන්ගේ නොමනා ක්‍රියා කලාපයන් හේතුවෙන් තමන් දැඩි කළකිරීමකට පත්ව සිටි බවත්, ඒ පිළිබඳව පක්ෂයේ ඉහළ නායකත්වයට අවස්ථා කිහිපයකදී දැනුම් දුන්නද විසඳුමක් නොලැබුණු බවත් ඔහු පැවසීය.
ඉන් හටගත් සිත් වේදනාව සහ කළකිරීම මත තමන් ගත් හදිසි තීරණයක් අනුව එම රැළියට සහභාගි වූ බවත්, එම තීරණය සම්බන්ධයෙන් මේ වන විට තමන් කණගාටු වන බවත් ඔහු ප්‍රකාශ කළේය. තවද, එම ක්‍රියාව නිසා සමගි ජන බලවේගයට හෝ පොදුජන එක්සත් පෙරමුණට යම් අපහසුතාවයක් සිදු වුණේ නම්, ඒ සඳහා තමන් සියලු දෙනාගෙන්ම සමාව අයදින බව නිර්මාල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේය.















