ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන ආවරණය වන පරිදි අති දැවැන්ත තාක්ෂණික පරිවර්තනයක් සිදුකිරීමට රජය සැලසුම් කර ඇත. මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ වන්නේ රාජ්‍ය ආයතන පද්ධතිය ඩිජිටල්කරණය කිරීම හරහා වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක මහජන සේවාවක් නිර්මාණය කිරීමයි.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික දායකත්වය මේ වන විට පවතින 3% ක මට්ටමේ සිට 2030 වසර වන විට 12% දක්වා වර්ධනය කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයයි. “මහජන සේවා ප්‍රශස්තකරණයට බලපෑම් කළ හැකි ආයතනික නියමු ජාලය” (Public Impact Champions Network – PIC-NET) පිහිටුවීම මෙම පරිවර්තනයේ පළමු පියවරයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ 3/2026 චක්‍රලේඛයට අනුව, රාජ්‍ය ආයතන තුළ ඩිජිටල්කරණය මෙහෙයවීම සඳහා සුදුසු නිලධාරීන්ගෙන් යුත් “Champions Network” කණ්ඩායම් පත් කරනු ලැබේ.
ඉදිරි වසර තුනක කාලය තුළ බැංකු පද්ධතියක් මෙන් රාජ්‍ය ආයතන අතර සියලු ගනුදෙනු සහ දත්ත හුවමාරුව ජාලගත ඩිජිටල් පද්ධතියක් හරහා සිදු කිරීමට සැලසුම් කර ඇත. මෙය සාක්ෂාත් කර ගැනීම මඟින් පුරවැසියන්ට නිවසේ සිටම විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම වැනි සේවාවන් ලබාගත හැකි වනු ඇත. මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම මහජනතාවගේ සහයෝගය අතිශයින් වැදගත් බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා අවධාරණය කරයි.
මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech Sri Lanka, KPMG ආයතනය සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගයෙන් ක්‍රියාත්මක වේ.
















