වත්මන් ජනාධිපතිවරයා ජනතාව අතරට යෑමට බිය වී සිටින බවත්, පාලනය ගෙන යන්නේ බියගුලු සහ නිවට රජයක් විසින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු’ යන තේමාව යටතේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය දක්වන මැළිකම තුළින් රජයේ එම බියගුලුභාවය මනාව පැහැදිලි වන බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
රටේ ජනතාව පීඩාවට සහ අසහනයට පත්ව සිටින බවත්, මෙම තත්ත්වයට පිළිතුරු දීමට ජනතාව සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ජනතාවගේ හඬට ඇහුම්කන් නොදී හිතුමතේට කටයුතු කරන වත්මන් රජයට පාඩමක් ඉගැන්වීමට ජනතාව සූදානම් බව ඔහු අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා, අසීමිත බලයක් ලබා දීමෙන් බල උන්මාදයකින් කටයුතු කරන දේශපාලන රටාවක් නිර්මාණය වන බවත්, එබැවින් රට වෙනුවෙන් සාධාරණ බහුතරයක් ඇති පාර්ශ්වයකට වරමක් ලබා දීමේ වැදගත්කම අවධාරණය කළේය. ඉදිරි මැතිවරණවලදී මෙවැනි වැරදි දේශපාලන ක්‍රමවේදයකට තිත තැබිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
















