රටේ දැනට ක්‍රියාත්මක වන්නේ රැවටිලි දේශපාලනයක් බවත්, මැතිවරණ සමයේ වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙන බවට පොරොන්දු වුවද අද වන විට ගෝලීය ඉන්ධන අර්බුදයක් හමුවේ දිගින් දිගටම ඉන්ධන මත බදු පටවමින් ජනතාව රැවටීමට ලක් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විදුලි බිල 33%කින් අඩු කරනවා යැයි පවසා එය වැඩි කර ඇති බවත්, පුනර්ජනනීය බලශක්තියට මුල්තැන දෙනවා වෙනුවට රජය අද ඉන්ධන බලාගාර මාෆියාවේ ප්‍රාණ ඇපකරුවෙකු බවට පත්ව ඇති බවත් හෙතම පෙන්වා දුන්නේය.
ගොවි ජනතාවට වී කිලෝවකට රු. 150ක ස්ථාවර මිලක් දෙන බව පැවසුවද, නිෂ්පාදන වියදම රු. 137ක් වන පසුබිමක ලබා දී ඇත්තේ රු. 120ක් පමණක් වන අතර, එයින් ගොවියාට රු. 17ක පාඩුවක් සිදුවී ඇති බව හෙතම කියා සිටියේය. මේ සියලු අර්බුදවලට මූලික හේතුව පුරවැසි පරපුර නිසි දැනුවත්භාවයකින් නොසිටීම බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, සමාජයක් ලෙස නව දැක්මකින් යුතුව දැනුමින් සවිබල ගැන්වූ පරපුරක් බිහි විය යුතු බව ප්‍රකාශ කළේය.
ඇඹිලිපිටිය සෙන්චූරියා සිටි හෝටලයේ පැවති සමගි අධ්‍යාපන සේවක සංගමයේ කොළොන්න ශාඛා රැස්වීම අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.
අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා, රටේ පාසල් 10,145ක් පමණ පවතින අතර ගුරුවරුන් 250,000ක් සහ විදුහල්පතිවරුන් 15,000ක් සේවය කරන බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රධාන කොටස් 6ක් තුළම බරපතල ඌනතා සහ විෂමතා පවතින බවත් සඳහන් කළේය. ගුරුවරුන්ට පොරොන්දු වූ ඉතිරි 2/3ක දීමනා ලබා දිය යුතු බවත්, විසිතුරු වචනවලින් සිහින ලෝක මවමින් ගුරුවරුන් අනාථ නොකරන බවත් හෙතම අවධාරණය කළේය. එසේම, ජාතික සහ පළාත් පාසල් අතර ප්‍රතිපාදනවල විශාල පරතරයක් පවතින බවත්, වැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ගුරුවරුන්ට නිසි පුහුණුවක් නොමැතිකම නිසා ඩිජිටල් විප්ලවයක් සාර්ථක කර ගත නොහැකි බවත් පෙන්වා දුන්නේය.
මුල් ළමාවිය අධ්‍යාපනයේ සිටම ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව සහ තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය කළ යුතු බවත්, ළමුන්ගෙන් 40%කටවත් සුහුරු උපකරණයකට ප්‍රවේශයක් නොමැති බවත් හෙතම සඳහන් කළේය. කවුරු අකමැති වුවද ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට සහ ඩිජිටල් අධ්‍යාපනයට මුල්තැන දිය යුතු බවත්, ඇතැම් වාමාංශිකයින් පෞද්ගලික අධ්‍යාපනයට පහර දුන්නද තමන්ගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යවන බව පෙන්වා දුන් ඒ මහතා, රටේ පෞද්ගලික අධ්‍යාපනය කුමන මට්ටමක තිබුණද මූලිකත්වය දිය යුත්තේ සුබසාධන රාජ්‍යයේ නිදහස් අධ්‍යාපනයට බව වැඩිදුරටත් කියා සිටියේය.
















