ආණ්ඩුව ගෙන එන ක්‍රියාමාර්ග නිසා රටේ ප්රජාතන්ත්රවාදය, ස්වාධීන අධිකරණය සහ නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම විනාශ වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (04) හම්බන්තොට, තිස්සමහාරාමය කෝංවැලාන ප්‍රදේශයේ පැවැති ගොවි ගැටලු සොයා බැලීමේ ජන හමුවක් අමතමිනි.
ආණ්ඩුව 22 වැනි සංශෝධනය ඉදිරිපත් කරමින් රටේ නිදහස් අධිකරණයට සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට දැඩි පහරක් එල්ල කර ඇති බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, මැර කණ්ඩායම්වල වෙඩි තැබීම් නිසා දින දෙක තුනකට වරක් ජනතාවගේ ජීවිත අහිමි වන බවද සඳහන් කළේය. එසේම විදුලි බිල සහ තෙල් මිල අඩු කරන බවට වූ පොරොන්දු කඩ කර ඇති බවත්, අස්වැසුම සහනාධාරය වැඩි කරන බව පැවසුවද වත්මන් පාලනය යටතේ එය කපා හරිමින් දුප්පත්කම තුරන් කිරීමට කිසිදු විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක නොකරන බවත් හෙතෙම චෝදනා කළේය.
පොහොර සහ බීජ මිල ඉහළ යාම, අලි-මිනිස් ගැටුම මෙන්ම වී සඳහා ලබා දෙන බවට වූ රුපියල් 150ක සහතික මිල ලබා නොදී ගොවියා අන්ත අසරණ කර ඇති බවද විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අධික බදු බර සහ පරාටේ නීතිය වැනි පියවර නිසා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, ජනතාව මුලා කර බලය ලබාගත් පාලනයට එරෙහිව ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙරමුණ ගැනීමට තමන් සූදානම් බවද ඔහු වැඩිදුරටත් අවධාරණ කළේය.
















