රජය විසින් භික්ෂූන් වහන්සේගේ චීවරයට සිදු කළ බව කියන අගෞරවය සමස්ත සම්බුද්ධ ශාසනයටම කළ නිග්රහයක් බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි. රජය කළ යුත්තේ භික්ෂූන් වහන්සේගේ සිවුරු ඉවත් කිරීම නොව බුදුදහම ප්රවර්ධනය කිරීම බවද ඔහු සඳහන් කරයි.
කොළඹ 14, ශ්රී ඉසිපතනාරාම විහාරස්ථානයේදී අමරපුර මහා නිකායේ මහනායක අතිපූජ්ය මාදම්පාගම අස්සජී තිස්ස මහනායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මේ බව ප්රකාශ කර තිබේ.
ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව බුදුදහමට ප්රමුඛස්ථානය ලබාදීම, එය ආරක්ෂා කිරීම හා ප්රවර්ධනය කිරීම රජයේ වගකීමක් බවත්, ඒ සමඟම සෙසු ආගම් සහ සංස්කෘතීන් ද ආරක්ෂා කළ යුතු බවත් සජිත් ප්රේමදාස මහතා පෙන්වා දී ඇත.
චීවරය බෞද්ධ ජනතාවගේ ආගමික විශ්වාසය හා බැඳුණු සංකේතයක් බැවින්, ආගමික නායකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නීතිමය හා තාක්ෂණික කරුණු පමණක් නොව ආගමික සංවේදීතාව ද සැලකිල්ලට ගත යුතු බව ඔහු සඳහන් කර තිබේ. අධිකරණ තීන්දු අභියෝගයට ලක් නොකරන නමුත් භික්ෂූන් වහන්සේගේ චීවරයට අත තැබීම වැරදි ක්රියාවක් බවද විපක්ෂ නායකවරයා අවධාරණය කර ඇත.
මේ අතර, අමරපුර මහා නිකායේ මහනායක අතිපූජ්ය මාදම්පාගම අස්සජී තිස්ස මහනායක හිමියන් සඳහන් කර ඇත්තේ භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් මහනායක හිමිනමකට වුවද තනිවම තීරණයක් ගත නොහැකි බවයි. කාරක සංඝ සභාව රැස් කර විමර්ශනය කිරීමෙන් අනතුරුව ගන්නා තීරණයක් මත පමණක් භික්ෂූත්වය අහෝසි කළ හැකි බවද උන්වහන්සේ පැහැදිලි කර තිබේ.















