වත්මන් රජය ගොවි ජනතාව රජ කරවන බවට පොරොන්දු දී බලයට පත් වුවද, අද වන විට ගොවියාගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම පහළට ඇද දමා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (13) ආනමඩුව නවගත්තේගම, ඉගිනිමිටිය ප්‍රදේශයේ පැවැති ගොවිජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
රට පුරා ගොවීන් මුහුණ දෙන බිත්තර වී හිඟය සහ පොහොර ගැටලු පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන විට, විෂය භාර අමාත්‍යවරයා එවැනි ගැටලු නොමැති බව පවසමින් ගොවි ජනතාව මුලාවට පත් කරන බවට ඔහු චෝදනා කළේය. වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 130-135ක් අතර වියදමක් ගියත්, අමාත්‍යවරයාට අනුව එම වියදම රුපියල් 90-95ක් බවත්, අමාත්‍යවරයාට ගොවිතැන පිළිබඳ අවබෝධයක් නොමැති බවත් ඔහු පැවසීය. මැතිවරණ සමයේ වී කිලෝවක් සඳහා රුපියල් 150ක සහතික මිලක් නීතිගත කරන බවට දුන් පොරොන්දු අද අමතක කර ඇති අතර, තෙතමනය 14%ක් සහිත වී රුපියල් 120කට මිලදී ගැනීම පවා නිසි ලෙස සිදු නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 2019 වසරේ සේම 2024 දී ද ගොවියා දේශපාලන පොරොන්දුවලට රැවටී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
වත්මන් රජය IMF කොන්දේසි හමුවේ අසරණ වී ගොවිතැන විනාශ කරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා, සමගි ජන බලවේගය යටතේ ගොවියා වෙනුවෙන් නව “සමාජ ගිවිසුමක් සහ ප්‍රඥප්තියක්” හඳුන්වා දෙන බව ප්‍රකාශ කළේය. පොහොර, තෙල් සහ කෘෂි රසායන මිල ඉහළ යාම මෙන්ම වන අලි ගැටලුව හමුවේ අසරණ වී සිටින ගොවියාට ස්ථාවර සහ සහතික මිලක් ලබා දීම සිය අනාගත රජයක ප්‍රමුඛතාවය බව ද ඔහු අවධාරණය කළේය.












