වත්මන් රජය බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් කිසිදු මැතිවරණ පොරොන්දුවක් මෙතෙක් ඉටු කර නොමැති බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයේ ආර්ථික හා සමාජීය ප්‍රතිපත්ති දැඩි විවේචනයකට ලක් කළේය. ජන හමුවක් අමතමින් ඔහු පෙන්වා දුන්නේ විදුලි බිල සියයට 33කින් අඩු කිරීම, ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කිරීම සහ තරුණ පරපුරට සහන මිලට වාහන ලබා දෙන බවට දුන් පොරොන්දු අමතක කර දමා ඇති බවයි. රටේ ජනගහනයෙන් සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයක් අද වන විට දරිද්‍රතාවයෙන් පෙළෙන බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, මෙරට සමස්ත ජනතාවම බරපතළ ආර්ථික අර්බුදයකට සහ අසහනයකට මුහුණ දී සිටින බව ප්‍රකාශ කළේය.
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයේ ආරම්භ කරන ලද ඇඟලුම් කර්මාන්තශාලා පවා වර්තමානයේ වැසී යමින් පවතින බවත්, නව රැකියා උත්පාදනයක් හෝ විදේශ ආයෝජන රටට නොපැමිණීම හේතුවෙන් ගොවි, ධීවර සහ කම්කරු ජනතාව මෙන්ම තරුණ පරපුර දැඩි අසරණභාවයට පත්ව ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. වන අලි ගැටලුව වැනි ජාතික වැදගත්කමක් ඇති බරපතළ ගැටලු සඳහා විද්‍යාත්මක විසඳුම් ලබා දෙන බව පැවසුවද, ප්‍රායෝගික මට්ටමින් කිසිදු ඵලදායී පියවරක් ගැනීමට රජය අපොහොසත් වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඉදිරි කාලසීමාව තුළ සමගි ජන බලවේගය යටතේ ගම් සහ නගර ක්‍රමානුකූලව දියුණු කරමින්, කෘෂිකර්මාන්තය, සේවා සහ කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රතිඥා දුන්නේය. මන්දපෝෂණය මුළුමනින්ම තුරන් කර ජනතාවගේ ජීවත්වීමේ මූලික අයිතිය තහවුරු කරන නව ආර්ථික බලාපොරොත්තුවක් රටට ලබා දීමට තම පක්ෂය නිරන්තරයෙන්ම කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















